Thursday, October 14, 2010

මගේ නොවන නිසාවෙන්...

9 නෙක් මොනවදෝ කියලා ගිහින්

ආසයි මම 
රැකගන්න ඔබ
මගේ ලොව තුල...
නුඹට අයිති ලොව
මගේ සුරත නොවන වග
දැන දැනම සිරකලත්...
හැකිය නුඹහට
පැමිණිවිට කාලය
ඉගිල යන්නට 
නුඹේ ලෝකෙට...


Wednesday, October 13, 2010

අපේ එක්වීම...

9 නෙක් මොනවදෝ කියලා ගිහින්

අන්ත දෙකක උනාට
ලංවෙන්න වෙනවා අපිට
අන් අයගෙ උවමනාවට
ඒ අයගේ කැමැත්තට....

Sunday, September 26, 2010

පරිස්සමින්...!

9 නෙක් මොනවදෝ කියලා ගිහින්
ඉහලයන්නේ බලාගෙනයි

ගුරුත්වය තියෙන්නේ පහළටයි...

ගිලිහුණොත් අත්වැල

මහ පොළව හරිම ගණකමයි...

ඒක කිව්වේ 

උඹේම හොඳටයි... 

Thursday, September 9, 2010

ගහකොළ හා සංවර්ධනය....

9 නෙක් මොනවදෝ කියලා ගිහින්
ගහකොළ අපේ ජීවිත වලට කොච්චර සමීපද...?

මට මේක එකපාරම මතක් උනේ සති අන්තේ ගෙදර යනකොට පාර දෙපැත්තේ ප්‍රාණය නිරුද්ධ වෙලා,වේලිලා, දරදඬුවෙලා ගිහිල්ලා තියන මහා රූස්ස ගස් සෑහෙන ප්‍රමාණයක් දකිනකොටයි...

ලංකාව සංවර්ධනය විය යුතුයි. මංමාවත්, ගොඩනැගිලි ඉදිවෙන්න ඕනා තමා. ඒත් මෙහෙම....

ඒ විදියට වෙන්න ඕනා කියලා හිතන සංවර්ධන ක්‍රියාවලියක් නිසා සිදුවෙන විනාශයක් තමයි මම අර කිව්වේ....

පොඩිකාලේ ඉඳන්ම ලංකාවේ පාරවල් වලින් (ගිහිල්ලා තියන) මම ආසම පාර මොකද්ද කියලා ඇහැව්වොත් මම කියන්නේ, මේ දවස්වල ඒ සංවර්ධන ක්‍රියාවලියට ලක්වෙන මේ මාර්ගය තමයි...

කෙළින්ම බැලුවාම කිලෝමීටරයක් එහෙම නැත්තම් භාගයක් විතර ඈතට පෙනෙන පාර හරියට බිංගෙයක් මැදින් යන එකක් වගේ මටනම්... පාර දෙපැත්තෙම අතුපතර විහිදුන මහා රූස්ස ගස් පෝලිමට...පාර මැදට ගිහින් උඩ බැලුවාම අහස නොපෙනෙන තරම්. හොඳට කර්කශ විදියට හිරුපායන ඉසව්වක් උනත් තද රස්නයක් දැනෙන්නේ නෑ ඒ තුරු සෙවණ නිසා....(හැබැයි මම මේ කිව්ව දේ මට විතරද දන්නේ නෑ දැනිලා තියෙන්නේ)

හිතාගන්න පුළුවන්ද මේ කොහේ ඉඳන් කොහේට යන පාරක්ද කියලා.

57.... මාර්ග අංක 57...
පාදෙණිය අනුරාධපුර මාර්ගය...

කොළඹ ඉඳන් අනුරාධපුර යනවනම් ප්‍රධාන පාරවල් කීපයක්ම තියනවනේ...

  • පුත්තලම හරහා
  • නුවර හරහා
  • කුරුණෑගල හරහා

ඉතිං, ඔය කුරුණෑගල හරහා ගිහිල්ලත් දෙවිදියකට යන්න පුළුවන්නේ.එකක් තමයි දඹුල්ල හරහා. අනික වාරියපොළ,පාදෙණිය හරහා යන එක.ඔන්න ඔය දෙවනියට කිව්ව එක තමා මට අර කිව්ව විදියට ලස්සනට පෙනුණේ.ඒත් දැන් ඒ ලස්සන....?

නව සංවර්ධන ව්‍යපෘතියක් නිසා ඒ දැවැන්ත ගස් බිම හෙලලා. මුල් පිටින්ම ගලවලා අයිනකට දාලා. දැන් ඒ පාරේ යනකොට අර ලස්සනත් නෑ. සිසිලසත් නෑ.

එක අතකින් අපි රට සංවර්ධනය විය යුතුයි කියලා හිතනවනම් මේවා මේ විදියට බලාපොරොත්තු වෙන්න වෙනවා. ඒත් මේ තරමට....?

කොහොම හරි ඒ බිමවැටුණ මහා රූස්ස ගස්වලට අයිතිවෙලා තිබ්බ මහපොළව මතින් දිවයිනේ ප්‍රථම පාපැදි මංතීරු සහිත මහාමාර්ගයක් ඉදිවෙනවා ලහිලහියේ.

මට දුක බයිසිකලේ පැදගෙන යන මිනිහට පට්ට අව්වේ දාඩිය දාගෙන බයිසිකල් පදින්න වෙන එක ගැනයි...



මම මෙහෙම දුක් උණාට එක අතකින් බලනකොට මමත් මේ වගේම දේකට දායකවෙනවා. ඒකත් අරවගේම සංවර්ධන ක්‍රියාවලියකටම තමයි. ඒවා නිසා රක්ෂිතවල පවා රූස්ස ගස් බිමහෙලන්න වෙලා තියනවා. ( හෝව් හෝව්... රජයේ අනුමැතිය ඇතිවයි ඒවා වෙන්නේ...හොරෙන් එහෙම නෙමෙයි ඕන්...)

මේ දවස්වල එහෙම ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වෙනවා. එකක් සිරිපා අඩවිය කෙළවරක. අනික වැල්ලවාය ප්‍රදේශයේ. ලංකාවේ බලශක්ති අවශ්‍යතාවය සපුරන්න ඒ කටයුතුත් කළයුතුම වෙනවා.

ඉතිං අන්තිමට මට තේරෙන්නේ රට සංවර්ධනයට අපි සහභාගි වෙනවනම් පරිසර විනාශයටත් අනිවාර්යෙන්ම දායක වෙනවා කියලා තමයි...

Tuesday, August 3, 2010

ආයෙමත්....

15 නෙක් මොනවදෝ කියලා ගිහින්

උඹ පාගලා
බිම දාලා ගිය
මගෙ හද
මම හෝදලා මිරිකලා
වේලෙන්න දැම්මා...

ඒත් අමතක උනා  මට
වැස්සට කලින් අරගන්න...
තෙතබරිතවෙලා 
බිමට වැටිලා ආයෙමත්...

Saturday, July 3, 2010

ඇයි....?

16 නෙක් මොනවදෝ කියලා ගිහින්
නුඹ

මගේම උනාට

වෙනස් වෙන්නේ නම්

වෙන කාගේදෝ

උවමනාවට...

Thursday, June 24, 2010

අතරමං වෙලා මං....

9 නෙක් මොනවදෝ කියලා ගිහින්
             මා සිත් අහසේ සඳ පායා තිබුනත්
        තරු කැටයක් වි නුඹ මසිත තවත් එළිය කලා...


       මහ මුහුදට මා හිමිකම් කීවත් 
       පොද වැස්සක් වී නුඹ මා පවස නිවූවා...


       මල් යායක මා තනිවි සිටියත් 
       නුඹ සුදු මලක් ව මා හිස සැරසූවා...


        මහමෙරක පෙමක් මගෙ සිත වින්ඳත්
        නුඹ සෙනෙහස යදිමින් සිත ඉකිබින්දා...





Monday, June 7, 2010

ඇවිත් යන්න එන්න....

13 නෙක් මොනවදෝ කියලා ගිහින්


හෙමින් හෙමින් 
මගේ ලඟට 
ටිකෙන් ටික 
දෝරේ ගලාවිත්
සනහා මගේ ගත....

විටෙක බෝ කල් 
හමුවන්න නාවත්
පමණටත් වැඩියෙන්
මා ලඟ 
විටෙක දැවටුන....

මා ලඟින් සිටි 
සැමගේ රිදවා හදවත්
තලා පොඩිකර 
යන්න ගිය ඔබ....

බලා ඉන්නවා තවමත්
එනතුරු මගේ ලඟට
වියැකෙන්නට හැර
ඒ අතීතය...

කම්නෑ ආවාට
නිරිත දිගින් හෝ
ඊසාන දිගින්...


Friday, May 28, 2010

මගේ පැතුම....

10 නෙක් මොනවදෝ කියලා ගිහින්

ඔබේ පැතුමන් රළක් උනෝතින්
එපා කිසිදින විසිර යන්නට....
ඔබේ සිනහව ගඟක් උනෝතින්
එපා කිසිදින සිදී යන්නට....
ඔබේ සෙනෙහස වලාවක් උනෝතින්
එපා කිසිදින පාව යන්නට....

කඳුලු බිඳු වියැළිලා
පතන පැතුමන් ඉටුවෙලා
ජය ගන්න නුඹෙ ලොව කිරුල දරලා
මගේ හදින් පැතුමක් මතුවෙලා....


Saturday, May 8, 2010

නෙතේ කඳුලු මං නිසාද...?

19 නෙක් මොනවදෝ කියලා ගිහින්
දුක් කඳුලැල් පිරුණ නෙතට
තුටු කඳුලැල් ගෙනා නුඹට...

සෝ සුසුමන් පිරුණ හදට
පෙම් හැඟුමන් ගෙනා නුඹට...

සොවින් පිරුණ මුහුණ මතට
සිනා කැකුලු ගෙනා නුඹට...

ඉතිරි කලේ කඳුලක්
පමණිද මා නුඹේ නෙතට....?

Saturday, March 27, 2010

ඒ අපි වෙනුවෙන් නේද....

17 නෙක් මොනවදෝ කියලා ගිහින්

මම සාමන්‍යයෙන් නිවාඩු දිනවලට,ඒ කියන්නේ සෙනසුරාදා ඉරිදා වගේ දිනවල උදේ නැගිටින්නේ සෑහෙන්න පරක්කුවෙලා.වෙනදා පුරුද්දටම 6 විතර ඇහැරුනත් ඇඳෙන් බහින්නේ 8 පහුවෙලා.ඒ කම්මැලිකමටද ඒකට තියන ආසාවටද කියලා හිතාගන්න බෑ.කම්මැලිකම කියන්නේ ඒකට තමයි ඉතිං....

ඇඳේ දිගාවෙලා ඉන්න ඒ කාලය තුල හිත එක එක තැන්වල රිංඟනවා.විශේෂයෙන්ම ගෙවුන සුන්ඳර අතීතය,කඳුලු හෙලන වර්තමානය,අරමුණක් නැති අනාගතය ඔය එකී මෙකී නොකී බොහෝ තැන්වලට.ඒ අතරින් ඉතිං වැඩියෙන්ම සැරිසරන්නේ ලඟදීම ගෙවුන තාමත් ඒ කාලයේම ඉන්න ඇත්නම් කියලා හිතෙන අතීතයේ තමයි....

හැබැයි අද මේ සටහන තියන්නේ ඒවා ගැන කියන්න නෙමෙයි.අද මගේ නවාතැන්පලට  එන මාර්ගය සුබ අනාගතයක ලකුණු පෙන්වමින් කොන්ක්‍රීට් කරනවා.මගනැගුම යටතේ නම් නෙමෙයි ඕන්.මේක අගනුවර තියන පුද්ගලික පාරක්.

ඉතිං මම කියපු අර ඇඳේ දිගාවෙලා ඉන්න හෝරා කීපයේදී, කොන්ක්‍රීට් කරන්න මූලික බිම් සැකසුම් සිද්දවෙනවා පහල.අවුරුදු ගානකට පස්සේ උදැල්ලක් පොළවේ ගැටෙන හඬ ඇහිලා අර ඔහේ සැරිසරමින් තිබුන මගේ හිත එතන නැවතුනා.මම හිතන්නේ ගොඩාක් කාලයකට පස්සේ ඒවිදියට ඒ හඬ මට ඇහුනේ.

ඒක මට මගේ අම්මයි අප්පච්චියි මතක් කලා....

මගේ ජීවිත කාලයෙන් මට මතක තියන අවුරුදු 25 විතර කාලය පුරාවටම පොළවත් එක්ක හැප්පෙන තාමත් එපා කිව්වත් අහන්නේ නැති මගේ අම්මයි අප්පච්චියි....

මායි මගේ සහෝදරියනුයි මේතැන්වලට ගේන්න,ඒගොල්ලන්ට නොලැබුන දෙවල් අපේ ජීවිතවලට ලබා දෙන්න අප්පච්චිත් එක්ක හරි හරියට පොළවත් එක්ක හැප්පෙන අම්මව...

කරකස වෙලා තියන පොළව  උදළුගා ලඟ එන වැස්සත් එක්කම මුං,කව්පි,බඩ ඉරිඟු,ආහාරයට ගන්න පුළුවන්,ඒ බිමේ සරුවට හැදෙන ඔය හැමදේම ඉන්දවන්න වෙන මහන්සිය....

ඒ හැම දෙයක්ම අපි වනුවෙන් නේද...

ඒත් වයසට ගියත් එපා කිව්වත් අතහරින්න සූදානම් නැති දේත් ඒකම තමයි.එදා අපටත් මේ හැමදෙයක්ම පුරුදු කලේ මොනා නැති උනත් ඒ දෙයින් හරි ජීවත් වෙන්න අපට හයිය දෙන්න බව දැන් තමා හරියටම වැටහෙන්නේ.

දබරවෙවී හරි ඒවත් අපිත් කලා.

සත්තයි දැන් මම උදැල්ලක් අල්ලලා පැයක් වැඩකලොත් අතේ දිය බුබුලු එනවා බලාගෙන ඉන්නකොට.ඇඟ ඒතරමට හොරවෙලා.අප්පච්චිට දැන් 65 වෙනවා. ඒත් තාමත් කුඹුරු  කරනවා.එයාලා අපේ වයසෙදී අක්කර ගනන් කුඹුරු අස්සද්දලා තියනවා.අනේ අපි මොනාද අස්සැද්දුවේ. අඩුම තරමේ අපේ ජීවිතවලටවත් ?

අම්මෝ මම ලියපු දිගම පෝස්ට් එක මේකද කොහෙදෙ.
මේකේ කටුසටහන ගැහැව්වෙත් අර ඇඳේ හිටපු හෝරා කීපයේදී තමයි....

Saturday, March 20, 2010

ඉගිල ගිය ඔබට.....

4 නෙක් මොනවදෝ කියලා ගිහින්

නුඹ
අහින්සක සමනළියකි
මම
ඔහේ ඉගිල ගිය
මී මැස්සෙකි...
එක මල් යායක දී
හමු උනා මතකද අප...

ලංවුනා අප
ඔබ මගේ
මා ඔබේ 
මැයි කියා...

දනිමි මම
නුඹ මටද
මා නුඹටද
පෙම්කල වග
මුළු හදින්ම...

ගෙවීගිය අපූරුව 
නොදැනීම 
සුන්දර වූ ඒ කාලය...

සමනලියකට
මී මැස්සෙකු
නොපැහෙනා බව
කියා නුඹ
ගියා මවෙතින්
හුදෙකලාව සහනයකැයි කියා...

දෙසවනට වැටුනා
නුඹ පැතුව
නුඹට ගැලපෙන
සමනලයෙක්ම 
මුණගැහුන වග
හිත පුරා ආදර කරන්නට...

ඉතිං පතමි මම 
ඒ ලොවේ සතුට රැඳෙන්න
ජීවිතේ පුරාවට....

Tuesday, March 16, 2010

අලුත් වැඩකට අතගැහුවා.....

11 නෙක් මොනවදෝ කියලා ගිහින්


මමත් ෆිල්ම් බලන්න ඇබ්බැහි උන එකෙක් කිව්වොත් නිවැරදියි.
කාර්යාලයේ වේගවත් අන්තර්ජාල සම්බන්ධයකුත් තියන නිසා ඒක තවත් වැඩිවෙනවා.මම වැඩිපුරම බලන්නේ නාට්‍යමය,ආදර කතා,true stories වගේ ඒවා තමයි.
ගොඩාක් වෙලාවට ෆිල්ම් ගැන හොයන්නේ IMDb එකෙන්.
ඉතිං ෆිල්ම් හොයන අතරේ true stories යටතේ 8.1/10 රේටින් ගත්ත චීන ෆිල්ම් එකක් හමුවුනා.
Yip Man(2008)


මේකේ විස්තර බලද්දි දැනගත්තා බෲස්ලීගේ එක් ගුරුවරයෙක් ගැන කතාවක් කියලා.
බාගත්තා.බැලුවා....
පස්සේ මට හිතුනා මේක අපේ සිංහල උපසිරැසි නිෂ්පාදකයා වන රොයිලිට බාරදෙන්න සබ් දාන්න කියලා.
මෙන්න බොලේ මූ කියපි අපි එකතුවෙලා මේ වැඩේ ගොඩදාමු කියලා.
අනේ මගේ සිංහල සබ් දැමිල්ල....උඹම ඒක කරපන් කියලා ඇඟබේරගන්න ට්‍රයි කලා...කොහෙද...මූ මාවත් කොහොමහරි ඈඳාගත්තා වැඩේට.
දෙන්නා කොටස් දෙකකට බෙදාගෙන වැඩේ පටන් ගත්තා.
අම්මෝ.....
එතකොට තමයි තේරුනේ මුන් මේකට කොච්චර කට්ටක් කනවද කියලා....

අනේ ඉතිං මගේ ඉංග්‍රිසි දැනුමට පින්සිද්ද වෙන්න මගේ කොටසිනුත් වැඩිහරියක් රොයිලිටම ඉවර කරන්න උනා...

අන්තිමේ ඕන් දෙය්යනේ කියලා මගේ පළමු උපසිරැසි ගැන්වීම සම නිෂ්පාදනයක් ලෙස අද බයිස්කෝප් එකේ එළිදක්වලා තියනවා...විස්තර එතන තියනවනේ....බාගෙන බලන්න....රසවිඳින්න පුළුවන් ලස්සණ කතාවක් තියෙන්නේ....

Sunday, January 3, 2010

ආදරණීය ගුරුතුමනි......

8 නෙක් මොනවදෝ කියලා ගිහින්

දුකා,මලී,...ආදී තවත් සහෝදර බ්ලොග්කරුවන් ටිකදෙනෙකුගේ උත්තේජනය නිසා මමත් දැන් පොත් කියවන්නෙක් බවට පත්වේගන එනවා....ඉතිං මාසෙකට සැරයක්වත් පොතක් ගන්න උත්සාහ කරනවා දැන්...

පහුගිය දවසක ගත්ත ඒවගේ පොතක් තමයි "ආදරණීය ගුරුතුමනි".

බටහිර ඉන්දිය ජාතික රිකාඩෝ බ්‍රේත්වේට් ගේ ජාත්‍යන්තර කීර්තියට පත්වුන "To Sir, with Love" කෘතියේ,සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන විසින් සිංහලට පරිවර්ථිත පොත තමයි ඒ.


මේ පොත ගත්තට ඒක කියවන්න අමතක වෙලා තිබුනේ.ඉතිං පහුගිය දවසක ගෙදර ගිය වෙලාවක ඒ ගැන මතක් වී පොත කියවන්න ගත්තා.පොත කොච්චර හිතට කාවැදුනද කියතොත් එක හුස්මට කියවගෙන ගියා.රෑ කෑමත් අමතක උනා.....

උතුම් ගුරු වෘත්තිය ගැන කියවෙන මේ කෘතිය රිකාඩෝ බ්‍රේත්වේට් ගේ ජීවන අත්දැකීම් ඇසුරෙන් ලියවී තියනවා.නොහික්මුණු සිසු කැලක් යහමාර්ගයට ගන්නා මේ ගුරුවරයා එවකට තම සිසුන්ගේ මනස තුල තිබුන වර්ණභේදවාදය ඉවත් කරන්න සමත්වෙන ආකාරය තම පොතට ඇතුලත් කර තිබෙනවා.....

රිකාඩෝ ගැන හැදින්වීමේදී එක් තැනක සඳහන් වී තිබුනා මේ පොත ඇසුරෙන් කල සිනමා නිර්මාණයක් ගැන.ඒකත් බාගත කරගෙන රසවින්ඳා.(පොත තරම් සිතට කා වැදුනේ නෑ.මුලින් පොත බලපු නිසාද දන්නේ නෑ.....)

මේ වගේම ගුරුවරයෙක් ගැන කතාවක් තියන බයිස්කෝප් එකක් තමයි "Freedom Writers".

රිකාඩෝ බ්‍රේත්වේට් ගැන දැනගන්න නම් විකියට යන්න.....
To Sir, with Love බයිස්කෝප් එක ගැන දැනගන්න නම් IMDb එකට යන්න.....
To Sir, with Love බයිස්කෝප් එක බාගත කරගන්න නම් මෙතෙන්ට යන්න.....
සිංහල පොත ගන්නනම් සරසවියට යන්න.....