Thursday, September 9, 2010

ගහකොළ හා සංවර්ධනය....

ගහකොළ අපේ ජීවිත වලට කොච්චර සමීපද...?

මට මේක එකපාරම මතක් උනේ සති අන්තේ ගෙදර යනකොට පාර දෙපැත්තේ ප්‍රාණය නිරුද්ධ වෙලා,වේලිලා, දරදඬුවෙලා ගිහිල්ලා තියන මහා රූස්ස ගස් සෑහෙන ප්‍රමාණයක් දකිනකොටයි...

ලංකාව සංවර්ධනය විය යුතුයි. මංමාවත්, ගොඩනැගිලි ඉදිවෙන්න ඕනා තමා. ඒත් මෙහෙම....

ඒ විදියට වෙන්න ඕනා කියලා හිතන සංවර්ධන ක්‍රියාවලියක් නිසා සිදුවෙන විනාශයක් තමයි මම අර කිව්වේ....

පොඩිකාලේ ඉඳන්ම ලංකාවේ පාරවල් වලින් (ගිහිල්ලා තියන) මම ආසම පාර මොකද්ද කියලා ඇහැව්වොත් මම කියන්නේ, මේ දවස්වල ඒ සංවර්ධන ක්‍රියාවලියට ලක්වෙන මේ මාර්ගය තමයි...

කෙළින්ම බැලුවාම කිලෝමීටරයක් එහෙම නැත්තම් භාගයක් විතර ඈතට පෙනෙන පාර හරියට බිංගෙයක් මැදින් යන එකක් වගේ මටනම්... පාර දෙපැත්තෙම අතුපතර විහිදුන මහා රූස්ස ගස් පෝලිමට...පාර මැදට ගිහින් උඩ බැලුවාම අහස නොපෙනෙන තරම්. හොඳට කර්කශ විදියට හිරුපායන ඉසව්වක් උනත් තද රස්නයක් දැනෙන්නේ නෑ ඒ තුරු සෙවණ නිසා....(හැබැයි මම මේ කිව්ව දේ මට විතරද දන්නේ නෑ දැනිලා තියෙන්නේ)

හිතාගන්න පුළුවන්ද මේ කොහේ ඉඳන් කොහේට යන පාරක්ද කියලා.

57.... මාර්ග අංක 57...
පාදෙණිය අනුරාධපුර මාර්ගය...

කොළඹ ඉඳන් අනුරාධපුර යනවනම් ප්‍රධාන පාරවල් කීපයක්ම තියනවනේ...

  • පුත්තලම හරහා
  • නුවර හරහා
  • කුරුණෑගල හරහා

ඉතිං, ඔය කුරුණෑගල හරහා ගිහිල්ලත් දෙවිදියකට යන්න පුළුවන්නේ.එකක් තමයි දඹුල්ල හරහා. අනික වාරියපොළ,පාදෙණිය හරහා යන එක.ඔන්න ඔය දෙවනියට කිව්ව එක තමා මට අර කිව්ව විදියට ලස්සනට පෙනුණේ.ඒත් දැන් ඒ ලස්සන....?

නව සංවර්ධන ව්‍යපෘතියක් නිසා ඒ දැවැන්ත ගස් බිම හෙලලා. මුල් පිටින්ම ගලවලා අයිනකට දාලා. දැන් ඒ පාරේ යනකොට අර ලස්සනත් නෑ. සිසිලසත් නෑ.

එක අතකින් අපි රට සංවර්ධනය විය යුතුයි කියලා හිතනවනම් මේවා මේ විදියට බලාපොරොත්තු වෙන්න වෙනවා. ඒත් මේ තරමට....?

කොහොම හරි ඒ බිමවැටුණ මහා රූස්ස ගස්වලට අයිතිවෙලා තිබ්බ මහපොළව මතින් දිවයිනේ ප්‍රථම පාපැදි මංතීරු සහිත මහාමාර්ගයක් ඉදිවෙනවා ලහිලහියේ.

මට දුක බයිසිකලේ පැදගෙන යන මිනිහට පට්ට අව්වේ දාඩිය දාගෙන බයිසිකල් පදින්න වෙන එක ගැනයි...



මම මෙහෙම දුක් උණාට එක අතකින් බලනකොට මමත් මේ වගේම දේකට දායකවෙනවා. ඒකත් අරවගේම සංවර්ධන ක්‍රියාවලියකටම තමයි. ඒවා නිසා රක්ෂිතවල පවා රූස්ස ගස් බිමහෙලන්න වෙලා තියනවා. ( හෝව් හෝව්... රජයේ අනුමැතිය ඇතිවයි ඒවා වෙන්නේ...හොරෙන් එහෙම නෙමෙයි ඕන්...)

මේ දවස්වල එහෙම ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වෙනවා. එකක් සිරිපා අඩවිය කෙළවරක. අනික වැල්ලවාය ප්‍රදේශයේ. ලංකාවේ බලශක්ති අවශ්‍යතාවය සපුරන්න ඒ කටයුතුත් කළයුතුම වෙනවා.

ඉතිං අන්තිමට මට තේරෙන්නේ රට සංවර්ධනයට අපි සහභාගි වෙනවනම් පරිසර විනාශයටත් අනිවාර්යෙන්ම දායක වෙනවා කියලා තමයි...

9 comments:

  1. සංවර්ධනයත් ඔනේ පරිසරයත් ඔනේ ....

    මෙතනදි අවම පරිසර හානිය වෙන විදිහට සංවර්ධන කටයුත් කරන ක්‍රම දැන් ලොකේ පුරා තියනවා ...... මම දන්න තරමට ලාංකාවේ සිදුවෙන මහාපරිමාණ සංවර්ධන කටයුතු වලට මෙමක්‍රම යොදාගන්නවා.....

    එත් කොච්චර දුරට ප්‍රායොගිකද කියන එක නම් ගැටලුවක්


    කවුරුත් නොහිතන පැත්තක් ගැන ලිව්වාට ගොඩක් ස්තුතයි

    ReplyDelete
  2. උඹ ඒ පාරේ යද්දී දැනුනු සිසිලසත් කපා දැමූ ගස් දුටුවාම දැනුනු වේදනාවත් කියවපු මට නම් හොඳින්ම දැනුනා . . . .

    මේ කපා දමන ගස් වෙනුවට අලුතෙන් ගස් හිටවන්න ක්‍රමවේදයක් සකස් කරනවනම් කොයි තරම් ලොකු දෙයක්ද . .

    සමහර විට සංවර්ධය කරන්න භාර දෙන ආයතනයට පවරන්න පුලුවන් ඒ කපපු එක ගහකට ගස් දෙකක් හිටවන්න හිටවලා ඒ ගස් සාත්තුව අනවශ්‍ය තරමට වැඩෙනකම් නඩත්තු කරන්න කියලා . .

    එතකොට සංවර්ධයන වෙනුවෙන් වැය කරන අතරම පරිසර සංරක්ෂනය වෙනුවෙනුත් මුදලක් වැයවුනත් එකක් නසා තව දෙයක් සිදුවෙනවා වෙනුවට දෙකම එකවර රැකගන්න පුවන්වෙනවා නේද . ..

    ReplyDelete
  3. මේක කොයි තරම් කතා කෙරුවත් ඉවර නොවෙන මාතෘකාවක්...පොළොවේ අයිතිය මිනිහාට විතරද?...අන්න ඒකයි ප්‍රශ්නය....

    ReplyDelete
  4. මේකයි චමියා, මිනිස්සු අලුත් විදිහට හිතුවා නං. තෘෂ්ණාව ටිකක් අඩු කරගත්තා නං ගසුත් දෙපැත්තෙ තියෙන අධිවේගී මාර්ගයක අපිට යන්න තිබුනා නේද?

    ජපානේ මිනිස්සු උස්බිල්ඩිං උඩ ගස්වවල සෙ.අ 2කින් පරිසර උෂ්ණත්වය අඩුකරගෙන තියෙනවා. ඒ අලුත් විදිහට හිතලා.

    තව දෙයක්,
    නියතිවාදයට අනුව පරිසරය අපිට වෙනස් කරනන් පුලුවන් තාවකාලිව විතරයි නේද?

    කැමැති ඕනැම වෙලාවක අපි කරන වැරදි වලට දඩුවම් දෙන්න පරිසරය සුදානම්ව ඉන්නවා!

    ReplyDelete
  5. මට තේරෙන්නෙ නැත්තෙත් ඇයි මේ කපන ගස් වෙනුවට අලුත් ඒවා හිටවන්න ක්‍රියාමාර්ග ගන්නේ නැත්තෙ කියලා. සමහර වෙලාවට ගිනි කන අව්වෙ යන එකාගේ දුක අනිත් අයට තේරෙන්නෙ නැති නිසාද දන්නෙ නෑ. ගහක කොලයක අගය දැනෙන්නේ කීයෙන් කී දෙනාටද?

    ReplyDelete
  6. වටින ලිපියක් වාසල..
    මොකෝ මේ ඉඳ හිට ලියන්නේ?
    :)

    ReplyDelete
  7. ඔන්න මම පරක්කු වෙලා ආවා. ෆේස්බුක් එකේ දේවල් බෙදාගත්තට, මං හිතන්නෙ මුලින්ම මේ බ්ලොග් එකේ අදහසක් දානවමයි. ඔය කියන පාර මටත් හරිම සුපුරුදු පාරක්. තඹුත්තේගමට යන්න ඒ දවස් වල නිතරම ගියෙ ඕකෙන්. ලංකාවේ තියන ඒවයින් මම කැමතිම පාරක්. ඔය පාරෙන් ගිහින් තඹුත්තේගමට වෙලා සති ගනන් ගතකරපු සුන්දර අතීතය මතක උනා මචං. මම ආසම පළාත් වලින් එකක් තමයි ඔය. වැවෙන් නාලා, වැව් මාලු එක්ක බත් කාලා, බයිසිකල් එකේ ඔහේ රවුන් ගහපු සුන්දර මතක ගොඩයි. කාලෙකින් නන් යන්න බැරි උනා.... ඒ හින්ද ඔය කියන වෙනස්කම් නම් දැක්කෙ නැහැ.

    ReplyDelete
  8. බොරු කියන්නේ මොකටද මට නම් කරන්නම වෙනවා කියන එකට සියයට සියයක් එකඟ වෙන්න බෑ.. අපේ හුඟක් ව්‍යාපෘති පරිසරයත් එක්ක අද්යයනය කරන්නේ නෑ කියල තමයි මට හිතෙන්නේ. මම පොලිටික්ස් කතා නොකර කියන්නම්. බොහොමයක් කෙරෙන්නේ දේශපාලකයන්ගේ බලපෑම නිසා නුසුදුසු තැන්වල. සමහරක් තෝරගත්ත ඒවා පරිසරයට වින කරන බව දැන දැන විරුද්දතා නොතකා කරන ඒවා. මේ දවස්වල මම ඉන්නේ දකුණු කොරියාවේ. මෙහෙ මිනිස්සු වගේම ආණ්ඩුත් පරිසරය රකින්න මුල්තැන දෙනවා.. කඳු කපාගෙන ගස් වැල් නැතිකරගෙන පාරවල් හදනවා වෙනුවට වැඩිහරියක්ම කඳු යටින් බිම් ගෙවල් වලින් තමයි පාර හදන්නේ. ඉතින් පරිසරය එහෙමමයි. අලුත් නගර හදන්නෙත් ඒ විදිහට කඳු ආරක්ෂා කරගෙන.
    මගේ කොමෙන්ට් එක වැරදිලා පහලින් තිබුන කවියට වැටුන. එක අයින් කරනවද ?

    අනික මට ප්‍රශ්නයක් තියෙනවා.. උද කොත්මලේ නිසා සෙන්ට් ක්ල්යාර් ඇල්ල නැතිවෙනවද ? මගේ ප්‍රියතම ඇල්ල, ගියපාර මම අන්තිමපාරට බලල ආයුබෝවන් කීවා. මට ඇත්තටම කඳුළු වැටුන..

    2/22/11 7:12 AM

    ReplyDelete
  9. @ Lankapriya, ඉහල කොත්මලේ විදුලි බලාගාර ව්‍යාප්‍රෘතිය නිසා සෙන්ට් ක්ල්යාර් ඇල්ල නැතිවෙන්නේ නෑ.මොකද දියඇල්ල අඛණ්බව ක්‍රියාත්මක වෙන්න ප්‍රමාණවත් තරමට ජලය කොත්මලේ ඔයට මුදාහැරිය හැකි ලෙසයි ඉදිකිරීම් කටයුතු සිද්ධ වෙන්නේ.(පරසර ශක්‍යයතා අධ්‍යයන වාර්ථාවෙත් (Environmental Impact Assessment) මේ කරුණ ඇතුලත්).ඒ විතරක් නෙවෙයි සෙන්ට් ක්ල්යාර් ඇල්ල සදහා නැරඹුම් ස්ථානයක්(viewing gallery) ඉදිකිරීමත් ව්‍යාප්‍රෘතිය ට ඇතුලත්.විදුලිබලාගාරයට සමගාමීව එහි ඉදිකිරීම් ද ක්‍රියාත්මක වෙනවා.

    ReplyDelete