Saturday, March 27, 2010

ඒ අපි වෙනුවෙන් නේද....

17 නෙක් මොනවදෝ කියලා ගිහින්

මම සාමන්‍යයෙන් නිවාඩු දිනවලට,ඒ කියන්නේ සෙනසුරාදා ඉරිදා වගේ දිනවල උදේ නැගිටින්නේ සෑහෙන්න පරක්කුවෙලා.වෙනදා පුරුද්දටම 6 විතර ඇහැරුනත් ඇඳෙන් බහින්නේ 8 පහුවෙලා.ඒ කම්මැලිකමටද ඒකට තියන ආසාවටද කියලා හිතාගන්න බෑ.කම්මැලිකම කියන්නේ ඒකට තමයි ඉතිං....

ඇඳේ දිගාවෙලා ඉන්න ඒ කාලය තුල හිත එක එක තැන්වල රිංඟනවා.විශේෂයෙන්ම ගෙවුන සුන්ඳර අතීතය,කඳුලු හෙලන වර්තමානය,අරමුණක් නැති අනාගතය ඔය එකී මෙකී නොකී බොහෝ තැන්වලට.ඒ අතරින් ඉතිං වැඩියෙන්ම සැරිසරන්නේ ලඟදීම ගෙවුන තාමත් ඒ කාලයේම ඉන්න ඇත්නම් කියලා හිතෙන අතීතයේ තමයි....

හැබැයි අද මේ සටහන තියන්නේ ඒවා ගැන කියන්න නෙමෙයි.අද මගේ නවාතැන්පලට  එන මාර්ගය සුබ අනාගතයක ලකුණු පෙන්වමින් කොන්ක්‍රීට් කරනවා.මගනැගුම යටතේ නම් නෙමෙයි ඕන්.මේක අගනුවර තියන පුද්ගලික පාරක්.

ඉතිං මම කියපු අර ඇඳේ දිගාවෙලා ඉන්න හෝරා කීපයේදී, කොන්ක්‍රීට් කරන්න මූලික බිම් සැකසුම් සිද්දවෙනවා පහල.අවුරුදු ගානකට පස්සේ උදැල්ලක් පොළවේ ගැටෙන හඬ ඇහිලා අර ඔහේ සැරිසරමින් තිබුන මගේ හිත එතන නැවතුනා.මම හිතන්නේ ගොඩාක් කාලයකට පස්සේ ඒවිදියට ඒ හඬ මට ඇහුනේ.

ඒක මට මගේ අම්මයි අප්පච්චියි මතක් කලා....

මගේ ජීවිත කාලයෙන් මට මතක තියන අවුරුදු 25 විතර කාලය පුරාවටම පොළවත් එක්ක හැප්පෙන තාමත් එපා කිව්වත් අහන්නේ නැති මගේ අම්මයි අප්පච්චියි....

මායි මගේ සහෝදරියනුයි මේතැන්වලට ගේන්න,ඒගොල්ලන්ට නොලැබුන දෙවල් අපේ ජීවිතවලට ලබා දෙන්න අප්පච්චිත් එක්ක හරි හරියට පොළවත් එක්ක හැප්පෙන අම්මව...

කරකස වෙලා තියන පොළව  උදළුගා ලඟ එන වැස්සත් එක්කම මුං,කව්පි,බඩ ඉරිඟු,ආහාරයට ගන්න පුළුවන්,ඒ බිමේ සරුවට හැදෙන ඔය හැමදේම ඉන්දවන්න වෙන මහන්සිය....

ඒ හැම දෙයක්ම අපි වනුවෙන් නේද...

ඒත් වයසට ගියත් එපා කිව්වත් අතහරින්න සූදානම් නැති දේත් ඒකම තමයි.එදා අපටත් මේ හැමදෙයක්ම පුරුදු කලේ මොනා නැති උනත් ඒ දෙයින් හරි ජීවත් වෙන්න අපට හයිය දෙන්න බව දැන් තමා හරියටම වැටහෙන්නේ.

දබරවෙවී හරි ඒවත් අපිත් කලා.

සත්තයි දැන් මම උදැල්ලක් අල්ලලා පැයක් වැඩකලොත් අතේ දිය බුබුලු එනවා බලාගෙන ඉන්නකොට.ඇඟ ඒතරමට හොරවෙලා.අප්පච්චිට දැන් 65 වෙනවා. ඒත් තාමත් කුඹුරු  කරනවා.එයාලා අපේ වයසෙදී අක්කර ගනන් කුඹුරු අස්සද්දලා තියනවා.අනේ අපි මොනාද අස්සැද්දුවේ. අඩුම තරමේ අපේ ජීවිතවලටවත් ?

අම්මෝ මම ලියපු දිගම පෝස්ට් එක මේකද කොහෙදෙ.
මේකේ කටුසටහන ගැහැව්වෙත් අර ඇඳේ හිටපු හෝරා කීපයේදී තමයි....

Saturday, March 20, 2010

ඉගිල ගිය ඔබට.....

4 නෙක් මොනවදෝ කියලා ගිහින්

නුඹ
අහින්සක සමනළියකි
මම
ඔහේ ඉගිල ගිය
මී මැස්සෙකි...
එක මල් යායක දී
හමු උනා මතකද අප...

ලංවුනා අප
ඔබ මගේ
මා ඔබේ 
මැයි කියා...

දනිමි මම
නුඹ මටද
මා නුඹටද
පෙම්කල වග
මුළු හදින්ම...

ගෙවීගිය අපූරුව 
නොදැනීම 
සුන්දර වූ ඒ කාලය...

සමනලියකට
මී මැස්සෙකු
නොපැහෙනා බව
කියා නුඹ
ගියා මවෙතින්
හුදෙකලාව සහනයකැයි කියා...

දෙසවනට වැටුනා
නුඹ පැතුව
නුඹට ගැලපෙන
සමනලයෙක්ම 
මුණගැහුන වග
හිත පුරා ආදර කරන්නට...

ඉතිං පතමි මම 
ඒ ලොවේ සතුට රැඳෙන්න
ජීවිතේ පුරාවට....

Tuesday, March 16, 2010

අලුත් වැඩකට අතගැහුවා.....

11 නෙක් මොනවදෝ කියලා ගිහින්


මමත් ෆිල්ම් බලන්න ඇබ්බැහි උන එකෙක් කිව්වොත් නිවැරදියි.
කාර්යාලයේ වේගවත් අන්තර්ජාල සම්බන්ධයකුත් තියන නිසා ඒක තවත් වැඩිවෙනවා.මම වැඩිපුරම බලන්නේ නාට්‍යමය,ආදර කතා,true stories වගේ ඒවා තමයි.
ගොඩාක් වෙලාවට ෆිල්ම් ගැන හොයන්නේ IMDb එකෙන්.
ඉතිං ෆිල්ම් හොයන අතරේ true stories යටතේ 8.1/10 රේටින් ගත්ත චීන ෆිල්ම් එකක් හමුවුනා.
Yip Man(2008)


මේකේ විස්තර බලද්දි දැනගත්තා බෲස්ලීගේ එක් ගුරුවරයෙක් ගැන කතාවක් කියලා.
බාගත්තා.බැලුවා....
පස්සේ මට හිතුනා මේක අපේ සිංහල උපසිරැසි නිෂ්පාදකයා වන රොයිලිට බාරදෙන්න සබ් දාන්න කියලා.
මෙන්න බොලේ මූ කියපි අපි එකතුවෙලා මේ වැඩේ ගොඩදාමු කියලා.
අනේ මගේ සිංහල සබ් දැමිල්ල....උඹම ඒක කරපන් කියලා ඇඟබේරගන්න ට්‍රයි කලා...කොහෙද...මූ මාවත් කොහොමහරි ඈඳාගත්තා වැඩේට.
දෙන්නා කොටස් දෙකකට බෙදාගෙන වැඩේ පටන් ගත්තා.
අම්මෝ.....
එතකොට තමයි තේරුනේ මුන් මේකට කොච්චර කට්ටක් කනවද කියලා....

අනේ ඉතිං මගේ ඉංග්‍රිසි දැනුමට පින්සිද්ද වෙන්න මගේ කොටසිනුත් වැඩිහරියක් රොයිලිටම ඉවර කරන්න උනා...

අන්තිමේ ඕන් දෙය්යනේ කියලා මගේ පළමු උපසිරැසි ගැන්වීම සම නිෂ්පාදනයක් ලෙස අද බයිස්කෝප් එකේ එළිදක්වලා තියනවා...විස්තර එතන තියනවනේ....බාගෙන බලන්න....රසවිඳින්න පුළුවන් ලස්සණ කතාවක් තියෙන්නේ....